468X60 Ad

Why Sathish Perera Died Very Early? - සතිෂ් අඩු වයසින්ම මියගියේ ඇයි?

1969 දී උපන් 42 වැනි වියෙහි පසුවූ ගායන ශිල්පී සතිෂ් පෙරේරා ගේ හදිසි අභාවය ආරංචි වූ සැනින් හැම දෙනාගෙම තුළ කුතුහලයක් ඇති වූයේ සතිෂ් මෙතරම් අඩු වයසකින් මරණයට පත්වූයේ ඇයිද යන්නයි. ඇතැම් අය විවිධ අදහස් උදහස් දැක්වූවා. අපිට මේ ගැන වැඩිදුර තොරතුරු සොයාගැනීමට හැකිවුණා.
සතිෂ් මරණයට පත්ව ඇත්තේ ලියුකේමියාව නම් දරුණු රෝගාබාධය සෑදීමෙනි.

මෙම රෝගයට ගොදුරුව අවසාන කාලය වනතුරුත් සතිෂ් ඒ බව දැන සිටියේ නැත. මීට ටික කාලයකට පෙර ඇති වූ තුවාලයක් එක දිගට සුව නොවීම නිසා ඇති වූ සැකයට ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබන්නට ඉදිරිපත්ව ඇත. සතිෂ් ලියුකේමියා රෝගයට ගොදුරු වී ඇති බව දැනගන්නට ලැබි ඇත්තේ ඒ මොහොතේදීය. ඉන්පසුව පසුගිය මාර්තු 8 වැනිදා සතිෂ් රෝහල් ගත කරනු ලැබිය. ක්‍රමයෙන් රෝගය දරුණු වූ අතර අප්‍රේල් මස 22 වැනිදා වන විට සතිෂ් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත. ජීවිතය සමග සටන් වැදී අවසන් පැය කිහිපය ගෙවී 23 වැනිදා අලුයම 4.26 ට පමණ මරණය ජයගත්තේ තවත් කාලාන්තරයක් ජීවත්විය යුතු අයෙකුගේ ජීවිතය පරාජය කරවමිනි.

පසුගිය දිනවල සිය නවතම ගීත ඇල්බමයට සූදානම් වෙමින් සිටි සතිෂ් එහි ගීත කිහිපයක්ම පටිගත කර අවසන් කර තිබුණා. තම පියාගේ ගීත දෙකකුත් මේ අතර තිබිණි. එම ගීත ඇල්බමය මේ වසරේ නිමකිරීමට සතිෂ් අදහස් කරගෙන සිටියේය. සතිෂ් සහ ඔහුගේ දයාබර බිරිඳ දිනේෂා පෙරේරාගේ කැඳැල්ලට මීට මාස නමයකට පෙර පුංචි පුතෙකු එක් විය. ඔහු ඇක්ෂින් පෙරේරාය. පුංචි පුතු පිළිබඳවත් දාහක් හීන සතිෂ්ගේ හිතේ හැංගී තිබෙන්නට ඇත. එහෙත් කුරිරු දෛවය සැනින් ඒ සියල්ල විනාශ කරමින් සතිෂ්ගේ ජීවිතය ඔහුගෙන් උදුරා ගත්තේය.

සතිෂ් 25 වැනි බදාදා එනම් අද දින, කිසිදිනෙක යළි නොඑන ගමනක් යයි. පසුගිය දින කිහිපය තුළ පන්නිපිටිය කලල්ගොඩ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ සතිෂ්ගේ දේහය අද පෙරවරු 11.00 ට කලාභවනට ගෙන ආවේ ඔහුගේ ආදරණීය රසික ජනතාවට බුහුමන් දැක්වීමට ඉඩ සලසා දීම පිණිසය. ඉන්පසුව පස්වරු 4.00ට මළහිරු බැස යන සන්ධ්‍යාවේ ශ්‍රී ලාංකික කලාකරුවන් බොහෝමයකට අවසන් නින්ද සැතපෙන්නට තෝතැන්නක් වූ බොරැල්ල කතත්තේදී සතිෂ් පෙරේරාගේ අවසන් කටයුතු සිදු කෙරෙන්නේය.  එහෙත් හිත හොඳ මිත්‍රයෙකු ප්‍රිය මනාප පුද්ගලයකු ලෙස සේම දක්ෂ ගායකයකු ලෙස සතිෂ් පිළිබඳ මතකයන් තව බොහෙඕ කාලාන්තරයක් යනතුරුම පවතිනු ඇත.

0 Comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2011-2013 • Ukussa.com